වසන්ත නමස්කාර ගේ 305 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ආදරය, රාගය සහ නිදහස් වීම දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය

Love, lust and Freedom  visual art exhibition


ආදරය, රාගය සහ නිදහස් වීම දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය සිතුවමක අර්ත කතන සොයා ගැනීමට උත්සාහ කරන්නන්ට වගේම සිතුවමක මිලක් තීරනය කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට වගේම විශේෂයෙන් සාර්ථක මානව සබදතාවල පදනම මෙම සිතුවම් එකතුවෙහි අන්තර් ගතයයි.
චිත්‍ර ඇදීම කියන්නේ එක්තරා විදිහක පිස්සුවක් චිත්‍ර බැලීම කියන්නෙ එයිටත් වඩා පිස්සුවක්. නමුත් සිතුවමක් රසවිදීම කියන්නේ පිස්සුවක් නොවේ. එය උසස් මනෝ භාවයක් යැයි මා හිතනවා.
මිනිසා තුල පවතින ඉහත සදහන් විකාර ස්වරූපය එකිනෙකාට හානි නොවන ආකාරයෙන් සමපාත කරගැනීම බුද්ධිමය ක්‍රියාවලියකි. එය නිර්මානයක් රසවිදීමයි.
මෙන්න මේ හිඩැස හෙවත් රසවින්දනයට මාර්ගය සකස් කිරීමට සමාජයට කලාගාර අවශ්‍ය වෙනවා. එහෙත් අද තිබෙන කලාගාර බොහොමයක් පෞද්ගලික පරමාර්තයන් වෙනුවෙන් සකස් වූ කුඩා කුඩා කණ්ඩායම්ය. ලංකාවේ ජාතික කලා භවනත් ඒ ආකාරයේම කුඩා කණ්ඩායමක්ය. ඒ සදහා පොදු අරුත් සැපයීමේ දී බොහෝ අවුල් සහගත තත්වයන් මතුවෙයි.
මෙතැන දී අපට කල හැකි ඉතාම සුදුසුම තීරනය වන්නේ සමස්ත විකාර ස්වරූපයම වින්දන මාර්ගයක් කරා යොමු කිරීමයි. ඒ සදහා අද පවතින සමාජ සම්මත පරමාර්තයන් සමග එකග විය යුතුය. සමාජ සම්මතයට විරුද්ධ වීමෙන් කලහැකි දෙයක් නැත.
එසේ විරුද්ධ වන්නන් පිස්සන් අතර තවත් පිස්සෙකු බවට පත්වෙයි. නිරෝගී පුදුගලයන් අතර පිස්සෙකු බවට පත්වීම ප්‍රශ්නයක් නැත. ඔහුට රැකවරනයක් සුවපත් වීමක් තිබෙයි. නමුත් පිස්සන් අතර පිස්සෙකු වීම ඉතාම භයානකය. ඔවුන් පිස්සන් සනීප කිරීමට යොදවන්නේ පිස්සු අදහස්මය.
සරල අර්තයෙන් ගතහොත් මුදල් ඉපයීම සැප විදීම අද පවතින සමාජ සම්මතයකි. එය මෑත කාලයේ සමාජ හැසිරීමක් ලෙස පෙනුනත් මානව ඉතිහාසයේ මුල් යුගයේ පටන් ධනය ඉපයීම සහ සැප විදීම සමාජ සම්මතයකි. මේ ක්‍රම වේදයෙන් පිටත කලාව නොපවති යි. කලාව ගැන සහ කලා කරුවන් ගැග කරනු ලබන සියලුම කතාබස් සහ නිර්වචනයන් අර්ථ සූන්‍ය හිස් වචන ගොඩවල් පමනි. අද මිනිසා විසින් අත්පත් කරගන්නා වූ දියුනුවන් සහ පිරිහීම් මේ ක්‍රමය තුලම පවතින්නකි. දියුනු වීමට සහ පිරිහීමට හේතූන් පවතින්නේ මේ ක්‍රමය තුලමය.
කලාව කියන දෙය ව්‍යාපාරික ඥාය සමග බැදී පවතියි.
ඒ නිසා සිතුවමක් සදහා මිල තීරනය කිරීම සිත්තරා විසින් සහ ව්‍යපාරික ඥානය විසින් (කලාගාර) තීරනය කරනු ලබන්නක්. එය අත්පත් කරගන්නා එයට කැමති නම් ප්‍රශ්නයක් නැත.
බොහෝ කල් චිත්‍ර කලාවේ නිරත වීමෙන් මා සොයා ගත් සමාජ කියවීමක් ඇත. ඔබ නොමිලයේ කෙනෙකුට සිතුවමක් දෙන්න, එහෙමත් නැතිනම් සමාජය පිලිවෙලකට සකස් කිරීමට උත්සාහ ගන්න ඔවුන් බොහෝවිට ඔබේ සතුරෙකු වනු ඇත. මා විසින් නොමිලයේ ආරම්භ කරන ලද සියලුම කලාගාර අසාර්ථක වූ හේතුව මෙයයි. එසේම ඔබ කෙනෙකුට සිතුවම් විකුණන්න ව්‍යාපාරික ඥානයෙන් කෙනෙකුට උදවු කරන්න. ඔහු සදාකාලික ඔබේ මිතුරෙකු වනවා පමනක් නොව සමාජය ඔබට දනගසා වදිනු ඇත.
ආදරය, රාගය සහ නිදහස් වීම දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය
මිනිසා කියන්නෙ සංස්කෘතික සත්වයෙකු නිසා මානව සබදතා කියන්නෙ කෙනෙකුට වටිනා දෙයක්. එය සාර්ථක වීම සදහා ආදරය, රාගය සහ නිදහස් වීම කියන කාරනා තුනම සමබරව එකට පැවතිය යුතුය. ඒවා අඩු වැඩි වීමෙන් මානව සබදතා පලුදු වෙයි. මෙතැන දී ආදරය යනු සීමාවක් නොමැතිව එකිනෙකා කෙරෙහි පවතින ලෙන්ගතු බවයි. රාගය යනු එකිනෙකාගේ රුචි අරුචිකම් හදුනාගැනීම හෙවත් ඔවුනොවුන් කියවා ගැනීමයි. නිදහස් වීම යනු තමාගේ පැවැත්ම අනෙකාමත රදවා තබා නොගැනීමයි.
මා හට හමුවන මිනිසුන්ට මා බොහෝ ආදරය කරමි. අනතුරුව ඔවුන් කියවමි. පසුව ඔවුන්ගෙන් නිදහස් ද වෙමි. එය සාර්ථක මානව සබදතාවයේ පදනමයි.

Comments