වසන්ත නමස්කර ගේ 581 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශන කෙටි කතාව.

ශ්‍රී ඇමරිකන් හින්දි ෆල්ම්
श्री अमेरिकन हिंदी फिल्म
(ලංකාව සහ ඇමරිකාව)

ඇමරිකාවේ මිනිස්සු ලංකාව ගැන මොනව හිතනවද? කියනවද? කියලා මම දන්නෙ නෑ. නමුත් අපේ සමහර මිනිස්සු ඇමරිකාවට බනිනවා. මේ කතාව වරදියි කියල එදා ඉදලම මට හිතුනා. නමුත් ඒක එහෙම නෙමෙයි කියන බව ඔප්පු කරන්න බැරි වුනා. දැන් මගේ සිතිවිල්ල හරියටම හරි බව පැහැදිලියි.
කරුණු හරියට නොදැන ඇමරිකාවට දොස්කියන අය දන්නෙ නෑ ඇමරිකාවයි ලංකාවයි අතරෙ හින්දි  ෆල්ම් හැදෙන බව. ඒවාට කියන්නෙ ශ්‍රී ඇමරිකන් හින්දි ෆල්ම් කියල.
ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙවත් ඇමරිකාවෙවත් නෙමෙයි. මිනිස්සු හිතන විදිහෙ.

උපුටා ගැනීම
මං ඇමෙරිකාවට ගියේ ශිෂ්‍යත්වයක් ලැබිලා. මට ලංකාවෙන් පිටත් වෙන්ට කලින් උපදෙස් ලැබුණා, කලින් එනවානම්, විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි කරගන්නා තුරු නවාතැන් පහසුකම් ගැන බලා ගෙනම එන්ට කියලා. ඒ සඳහා හෝටලයක් වෙන් කර ගැනීමට වුවමනා මූල්‍ය පහසුකමත් මේ රටින් පිටවෙන්ට පෙරම මට එහෙන් එවලා තිබුණා. ඉතිං මම විශ්ව විද්‍යාලයට ඉතාම ආසන්නයේ තිබුණු හෝටලයක කාමරයක් ඔන්ලයින් බුකින් එකකින් වෙන් කරගෙනම තමා මෙහෙන් ගුවන් ගත වුණේ. නරක වෙලාවට මගේ වොෂිංටන් ඩී. සී. ඉඳලා පෙන්සිල්වේනියාවට තිබුණු ගුවන් ගමන ඉතාම ප්‍රමාද වුණා. අන්තිමට මම මගේ ඇමෙරිකානු ගමනාන්තයට ළඟා වෙනකොට පැමිණෙන වෙලාව කියලා හෝටලයට දැනුම් දුන් වෙලාවට වඩා පැය ගණනක් ප්‍රමාදයි. මට දැන් සැකයි, කාමරේ බුකින් එක අවලංගු වෙලාද කියලත්. මොකද, යම්කිසි පැය ගණනකට පස්සේ බුකින් එක ඉබේම අවලංගු වෙන කතාවකුත් තිබ්බා වාගේ මතකයි. ඒ හන්දා මගේ හිත ටිකක් කලබල වෙලයි තිබුණේ.
ඉතිං මම ගුවන් යානයෙන් බැහැලා එළියට එන ගමන්, ගුවන් තොටුපොළ ඇතුළෙන්ම කුලී රථයක් ගන්ට බැලුවා. ම්හු. එළියට ගිහිං බලන්ට කියලයි උපදෙස් ලැබුණේ. ඉතිං මම පිටවීමේ දොරටුවෙන් එළියට විග විගහට ආවා, බඩු ට්‍රොලියත් තල්ලු කරගෙන. දොරෙන් එළියට එනකොටම මට පෙනුණා ටැක්සියක් නවත්වලා තියෙනවා මට අඩි පහළොවක් විස්සක් ඈතින්. බොහොම සන්තෝසෙන් මම ට්‍රොලිය තල්ලු කරගෙන විග විගහට ටැක්සිය දිහාට ගියා. අනේ! මට තව අඩි හත අටක් විතරයි ටැක්සියට කිට්ටු වෙන්ට තිබුණේ! වෙන කවුදෝ මගියෙක් තත්පර තුන හතරකින් මට ඉස්සර වුනානේ! ඉතිං ඒ මගියා අරගෙන ඒ ටැක්සිය යන්ට ගියා!
මට හරි වැඩේ සිද්ද වුණේ. වට පිට බැලුවා. වෙන එක ටැක්සියක් වත් පේන මානෙක නෑ! හපොයි, ඔයින් මෙයින් තවත් ප්‍රමාද වෙනවා. දැන් මොකද කරන්නේ? ඔහොම වට පිට බලනකොට මේන්න කන්දක් නැගගෙන තඩි කළු ජීප් එකක් මතු වුණා. ටැක්සියක් නං නෙමෙයි. මට අඩි කීපයක් එහායින් ඒක නැවැත්තුවා. ඒක එළවාගෙන ආවේ උසම උස, තඩිම තඩි සුදු මහත්තයෙක්. මම දුවගෙන ගිහිං ඇහුවා වෙන ටැක්සි මේ වෙලාවට නැද්ද කියලා. ඒ මහත්තයා කීවා ටැක්සි නං තියෙනවා කියලා. කොහාටද යන්ට ඕනෑ කියලාත් ඒ එක්කම මගෙන් ඇහුවා. මම අර වෙන් කරගෙන ආපු හෝටලේ නම කීවා. ආ මම ප්‍රොෆෙසර් කෙනෙක් ගෙනියන්ටයි ආවේ. ඒ මහත්තයාට වෙන් කරලා තියෙන හෝටලේට අල්ලපු හෝටලේ තමයි ඔය. ඔයා කැමති නං අපිට ඔයාවත් දාගෙන යන්ට පුළුවන්කියලා ඒ සුදු මහත්තයා කීවා. මගේ හිත පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා. අනේ කොච්චර දෙයක්ද, බොහොම ස්තුතියිකියලා මම හැරිලා මගෙ බඩු ට්‍රොලිය ගන්ට බැලුවා.
හපොයි, ඒක තිබ්බ තැන නෑ!
හත් දෙය්යනේ! මගෙ ඉස ගිනි ගත්තා වාගේ. කෝ දෙය්යනේ මගේ බඩු ට්‍රොලිය? මං හතර අතේ බැලුවා. ඒක පේන මානෙක නෑ! පිටවීමේ දොරටුව පැත්තෙත් නෑ, මගෙ දකුණු පැත්තෙත් නෑ; වම් පැත්තෙත් නෑ. අහළ පහළ හිටගෙන හිටපු උදවිය ළඟත් නෑ! මේ ට්‍රොලි හිතුවක්කාරී මම හිතුවක්කාරී දාලා කොහේ ගියාද? ඕන්න එතකොටයි මම දැක්කේ මම ට්‍රොලිය තිබ්බ තැනට කෙලින්ම ඉස්සරහින් පල්ලමක් තිබිලා, මගෙ ට්‍රොලිය තනියෙන්ම පල්ලම් බහින්ට පටන් ඇරං! හපොයි දැන් මොකක්ද කරන්නේ? ට්‍රොලිය පස්සෙන් දුවනවාද? එහෙම දිව්වොත් මේ සුදු උන්නැහේ යන්ට යයි. ඉතිං ඒ එක්ක ගිහිං වැඩක් තියෙනවාද, බඩු මුට්ටු නැතුව? මම තක්බීර් වෙලා වට පිට බලනකොට මේන්න කවුදෝ සුපින්වතෙක් හිතු මනාපේ පල්ලම් බහින ට්‍රොලිය අල්ලලා නවත්තාගෙන උඩුගං බලා තල්ලු කරනවා! ආයෙ මොනවා හිතන්ටද, මම පල්ලමේ ඉතුරු ටික දුවගෙන ගිහිං ට්‍රොලිය උඩහට තල්ලු කරගෙන ආවා. ඒ අතරේ අර තඩි සුදු මහත්තයා මහාචාර්ය තුමාගේ බඩු ටික වාහනේට දාගන්නවා. මගේ බඩු භාණ්ඩ ටිකත් හිතුවක්කාර ට්‍රොලියෙන් ඇරගෙන ඒ සුදු මහත්තයා වාහනේට දමා ගත්තා. ඊට පස්සෙ මමත් ඒ මහත්තයාගෙ වාහනේට නග්ගා ගත්තා කියමුකෝ.
අද මේ තව වෙනතුරු ඒ සුදු මහත්තයා මාව බැස්සුවේ නෑනේ. ඕන්න දැනුත් මට පිටිපස්සේ ඇඳේ හාන්සි වෙලා මොනවාදෝ ලියනවා.
ඉරණම තීරණය වෙන්ට තත්පර කීපෙකයි අඩි කීපෙකයි පරාසයක් හොඳටම ඇති!
එයාර්පෝට් එකකින් එළියට දුවගෙන එන මනස්කාන්ත යුවතියක්, තත්පරෙන් මඟඇරෙන ටැක්සියක්, තනියම පල්ලම් බහින ට්‍රොලියක්, එක පාරටම පුංචි කන්දක් වාගෙ තැනකින් මතු වෙන වාහනයක්, ඒක පැදගෙන එන වීරයෙක්! මේවා තියෙන්නෙ හින්දි චිත්‍රපටි වල විතරයි කියලා නේද හිතාගෙන හිටියේ මෙච්චර කල්?

උපුටා ගැනීම අවසන්
https://www.facebook.com/search/top/?q=asantha%20u.%20attanayake%20barborich

පිස්සු හැදෙනවනෙ අසන්ත. පුලුවන්නම් දවසක මට එතැන පෙන්වන්න. මේක ඇමරිකාවයි ලංකාවයි අතර තියෙන හින්දි ෆල්ම් එකක්මයි.

Comments